Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
27 verses
1මාගේ පුත්‍රය, මාගේ කීම් රක්ෂාකොට මාගේ ආඥා නුඹ වෙත තබාගන්න.
2මාගේ ආඥා පවත්වා ජීවත්වෙන්න; මාගේ උපදෙස්ද නුඹේ ඇසේ කළුරුවාව මෙන් රක්ෂාකරන්න.
3ඒවා නුඹේ ඇඟිලිවල බැඳගන්න; නුඹේ සිත නමැති පුවරුවෙහි ලියාගන්න.
4අන් ස්ත්‍රියෙක් වන තමාගේ කීම්වලින් ඉච්චාකරන අන්‍ය තැනැත්තියගෙන් නුඹ ආරක්ෂාවෙන පිණිස
5ප්‍රඥාවට: නුඹ මාගේ සහෝදරීය කියාත්, නුවණ යෙහෙළිය කියාත් කියන්න.
6මක්නිසාද මාගේ ගෙයි කවුළුවෙන් ගරාදි අස්සෙන් බලා සිටිද්දී,
7මොළය නැති තරුණයෙක් අනුවණයන් අතරේ මට පෙනුණේය; ඔහු යෞවනයන් අතරේ ඉන්නවා දුටිමි.
8ඔහු සවස ඇඳිරියෙහි, මධ්‍යම රාත්‍රියේ කළුවරෙහි,
9ඇගේ ගෙයි කොන ළඟ වීථිය පසුකොට, ඇගේ ගෙට යන මාර්ගයෙහි ගියේය.
10එවිට වේශ්‍යාවකුගේ වස්ත්‍ර ඇඳ සිටි රැවටිලි සිත් ඇති ස්ත්‍රියෙක් ඔහුට මුණගැසුණාය.
11ඈ ඝෝෂාකාරවූ හිතුවක්කාර තැනැත්තියෙක්ය; ඇගේ පාද ඇගේ ගෙයි නොරඳයි.
12ඈ සමහරවිට වීථිවලද සමහරවිට එළිමහන් ඉඩම්වලද සිටින්නීය, සියලු මංසන්ධිවලද රැක සිටින්නීය.
13මෙසේ ඈ ඔහු අල්ලා සිඹ, ලජ්ජා නැති මුහුණක් ඇතුව ඔහුට කථාකොට:
14ශාන්ති පූජා මා ළඟ තිබේ; අද මාගේ භාර ඉෂ්ටකෙළෙමි.
15එබැවින් නුඹේ මුහුණ සොයා, නුඹ සම්බවෙන පිණිස පිටතට ආවෙමි, මෙසේ නුඹ සම්බවිය.
16මිසරයේ නූල්වලින් කළ විසිතුරු ඇතිරිළි මා විසින් මාගේ යහනේ අතුරා තිබේ.
17සුවඳලාටුවලින්ද අගිල්වලින්ද කුරුඳුවලින්ද මාගේ ඇඳ සුවඳකෙළෙමි.
18එන්න, උදය දක්වා අපි ප්‍රේමය බොමු; ආදරයෙන් ප්රීතිවෙමු.
19මක්නිසාද ස්වාමිපුරුෂයා ගෙදර නැත, ඔහු දුර ගමනක් ගියේය.
20ඔහු මුදල් පසුම්බියක් අතේ ඇතුව ගියේය; ඔහු ගෙදර එන්නේ පසළොස්වක දවසේයයි කීවාය.
21ඇගේ බොහෝ මිහිරි කථාවලින් ඔහු කැමැතිකරවා, ඇගේ තොල්වල ඉච්චාවෙන් ඔහු ඇදගනයයි.
22ගොනෙකු මරණයට යන්නාක් මෙන්ද, අඥානයෙකු විලංගුවේ දඬුවමට යන්නාක්මෙන්ද, ඊගසක් ඔහුගේ අක්මාවට වදින තුරු,
23මලපත තම ප්‍රාණය හානිකිරීමට තිබෙන බව නොදැන පක්ෂියෙක් ඊට යුහුව යන්නාක්මෙන්ද, ඔහු එකෙණෙහිම ඇය කැටුව යන්නේය.
24එබැවින් මාගේ පුත්‍රයෙනි, මාගේ වචන අසා, මාගේ මුඛයේ කීම්වලට ඇහුම්කන් දෙන්න.
25නුඹේ සිත ඇගේ මාර්ගවලට හැරීනොයේවා, ඇගේ මාවත්වල මුළාව නොයන්න.
26මක්නිසාද ඈ බොහෝ දෙනෙකු තුවාළකොට හෙළාදැමුවාය. එසේය, ඇගේ මැරුම්කෑ අය මහත් සමූහයක්ය.
27ඇගේ ගෙය ෂෙයෝලට යන්නාවූ, මරණයේ ඇතුළු ගබඩාවලට බසින්නාවූ මාර්ගයක්ය.