Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
17 verses
1තවද මහත් පුදුමයක් අහසෙහි දක්නාලද්දේය. එනම් සූර්යයා පැළඳගෙන, පාදයට චන්ද්‍රයාද හිස පිට තාරකා දොළොසකින් යුක්ත ඔටුන්නක්ද ඇති ස්ත්‍රියෙක්ය;
2ඈ ගර්භිණීව සිටියාය. ඈ විළිරුජා විඳිමින් ප්‍රසව වේදනාවෙන් යුක්තව මොරගසන්නීය.
3අහසෙහි තවත් පුදුමයක්ද දක්නාලද්දේය; එනම් හිස් සතක්ද අං දසයක්ද තමාගේ හිස් පිට ඔටුනු සතක්ද ඇති මහත් රතු සර්පයෙක් විය.
4ඌ උගේ වල්ගයෙන් අහසේ තාරකාවන්ගෙන් තුනෙන් කොටසක් ඇද ඒවා පොළොවට හෙළුවේය. සර්පයාද බිහිකරන්ට ආසන්නව සිටි ස්ත්‍රිය බිහිකළ කෙණෙහිම, ඇගේ දරුවා කාදමන පිණිස ඈ ඉදිරිපිට සිටියේය.
5ඈ සියලු ජාතීන් යදණ්ඩකින් ආණ්ඩුකරන පුත්‍රයෙකු, පිරිමි දරුවෙකු, බිහිකළාය. ඇගේ දරුවා දෙවියන්වහන්සේද උන්වහන්සේගේ සිංහාසනයද වෙතට ඇදගනු ලැබුවේය.
6ස්ත්‍රීද කාන්තාරයට පලාගියාය, එක්දහස් දෙසිය සැට දවසක් ඈ පෝෂණයකරන පිණිස දෙවියන්වහන්සේ විසින් පිළියෙළකරනලද ස්ථානයක් ඈට එහි තිබුණේය. යුද්ධයක් හටගැනීම
7තවද ස්වර්ගයෙහි යුද්ධයක් විය. ඒ වනාහි මිකායෙල් සහ ඔහුගේ දූතයන් මහ සර්පයාට විරුද්ධව යුද්ධයට යාමය. මහ සර්පයාද තමාගේ දූතයෝද සටන්කොට,
8ජය නොලැබුවෝය, ඔවුන්ට සර්වර්ගයෙහි ස්ථානයක් තවත් නොවීය.
9මුළු ලෝකයා රවටන්නා වන යක්ෂයාය, සාතන්යයි කියනලද මහා සර්පයා නමැති ඒ පුරාණ සර්පයා පහතට හෙළනු ලැබුවේය; ඔහු පොළොවට හෙළනු ලැබුවේය. ඔහුගේ දූතයෝද ඔහු සමඟ හෙළනු ලැබුවෝය.
10එවිට: අපගේ දෙවියන්වහන්සේගේ ගැළවීමද බලයද රාජ්‍යයද තමන් ක්‍රිස්තුස්වහන්සේගේ ආණ්ඩුබලයද දැන් පැමුණුණේය. මක්නිසාද අපගේ දෙවියන්වහන්සේ ඉදිරිපිට රෑ දාවල් අපේ සහෝදරයන්ට වරදතබන්නාවූ, ඔවුන්ගේ වරදතබන්නා පහත හෙළනු ලැබුවේය.
11ඔව්හු බැටළුපැටවාණන්ගේ ලේ නිසාද තමුන්ගේ සාක්ෂියේ වචනය නිසාද ඔහුගෙන් ජයගත්තෝය; ඔව්හු මරණය විඳින තරමට පවා තමුන්ගේ ජීවිතයට ප්‍රේම නොකර සිටියෝය.
12එබැවින් ස්වර්ගයෙනි, එහි වසන්නෙනි, ප්‍රීතිවෙන්න. ගොඩටත් මුහුදටත් දුක්වේ! මක්නිසාද යක්ෂයා තමාට ඇත්තේ ස්වල්ප කාලයක් බව දන්න බැවින්, මහත් උදහසින් යුක්තව නුඹලා වෙතට බැස ගියේයයි ස්වර්ගයෙහි කියන මහත් හඬක් මට ඇසුණේය.
13තමා පොළොවට හෙළනු ලැබූ බව මහ සර්පයා දුටු කල, හෙතෙම පිරිමි දරුවා බිහිකළ ස්ත්‍රීට පීඩාකෙළේය.
14සර්පයා ඉදිරියෙන් වනයෙහි ඇගේ ස්ථානයට ඉගිලී යන පිණිස මහත් රාජාලියෙකුගේ පියා��ත් දෙක ඈට දෙනලද්දේය; එහි කාලයටත් කාලවලටත් කාල භාගයකටත් ඈ පෝෂණයකරනු ලබන්නීය.
15සර්පයාද ඒ ස්ත්‍රිය සැඩපාරෙන් ගහගනයන්ට සලස්වන පිණිස ඈ පස්සෙන් ගංගාවක් ලෙස වතුර උගේ කටින් නික්මවා ඇරියේය.
16නුමුත් පොළොව ස්ත්‍රීට පිහිටව, කට හැර, මහ සර්පයා තමාගේ කටින් නික්මවූ ගංගාව ගිල්ලාය.
17මහ සර්පයා ස්ත්‍රී කෙරෙහි උදහස්වී, දෙවියන්වහන්සේගේ ආඥා පවත්වන්නාවූ, යේසුස්වහන්සේගේ සාක්ෂිය දරන්නාවූ ඇගේ වංශයේ ඉතිරි අයට විරුද්ධව යුද්ධකරන්ට ගියේය.