Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
18 verses
1අං දසයක්ද හිස් සතක්ද ඇත්තාවූ මෘගයෙක් මුහුදෙන් මතුවෙනවා දුටිමි, උගේ අං පිට ඔටුනු දසයක්ද උගේ හිස්වල අපහාස නාමවල්ද තිබුණේය.
2මා දුටු මෘගයා අඳුන්දිවියෙකුට සමානය, උගේ පාද වළසෙකුගේ පාද වැනිය, උගේ කට සිංහයෙකුගේ කට වැනිය. මහ සර්පයා තමාගේ පරාක්‍රමයත් තමාගේ සිංහාසනයත් මහත් බලයත් ඌට දුන්නේය.
3මැරෙන තරමට උගේ හිස්වලින් එකකට තුවාලවී තිබෙන්නාක්මෙන් පෙනුණේය; නුමුත් උගේ මරණීය තුවාලය සුවවිය. මුළු ලෝකයා මෘගයා පස්සේ පුදුමව ගියෝය;
4මහ සර්පයා මෘගයාට බලය දුන් නිසා ඔව්හු මහ සර්පයාට නමස්කාරකළෝය; ඔව්හු මෘගයාටත් නමස්කාරකොට: මෘගයාට සමාන කවුද? ඌ හා සමඟ යුද්ධකරන්ට කවෙරකුට හැකිදැයි කීවෝය.
5අහංකාර දේවල්ද දේව අපහාසද කථාකරන මුඛයක් ඌට දෙනලද්දේය. මාස සතළිස් දෙකක් පවතින්ට ඌට බලය දෙනලද්දේය.
6එකල ඌ දෙවියන්වහන්සේට විරුද්ධව අපහාසකරන පිණිසද උන්වහන්සේගේ නාමයට සහ උන්වහන්සේගේ මණ්ඩපයටත්, එනම් ස්වර්ගයෙහි වාසයකරන්නන්ටත් අපහාසකරන පිණිසද මුඛය ඇරියේය
7තවද ශුද්ධවන්තයන්ට විරුද්ධව යුද්ධ කරන්ටද ඔවුන්ගෙන් ජයගන්ටද ඌට ඉඩ දෙනලද්දේය. සියලු ගෝත්‍රයන්ද සෙනඟද භාෂාවන්ද ජාතීන්ද කෙරෙහි ඌට බලය දෙනලද්දේය.
8ලෝකය පටන්ගැන්මේ සිට මරණලද බැටළුපැටවාණන්ගේ ජීවනපොතෙහි නම් ලියවී නොතිබුණු පොළොවෙහි වසන සියල්ලෝ ඌට නමස්කාරකරන්නෝය.
9යමෙකුට කන් ඇත්තේද ඔහු අසාවා.
10යමෙක් වහල්කමට නියම නම්, ඔහු වහල්කමට යන්නේය. යමෙක් කඩුවෙන් මරන්නේ නම්, ඔහු කඩුවෙන් මරනු ලබන්ට ඕනෑය. මෙහි ශුද්ධවන්තයන්ගේ ඉවසීමත් ඇදහිල්ලත් ඇත්තේය.
11තවත් මෘගයෙක් පොළොවෙන් නැගී එනවා දුටිමි; බැටළුපැටවෙකුට මෙන් අං දෙකක් ඌට තිබුණේය, ඌ මහ සර්පයෙකු මෙන් කථාකෙළේය.
12ඌ පළමුවෙනි මෘගයාගේ මුළු බලය ඌ ඉදිරියෙහි පවත්වමින්, තමාගේ මරණීයවූ තුවාලයෙන් සුවවුණ පළමුවෙනි මෘගයාට නමස්කාරකරන්ට පොළොවටද එහි වැසියන්ටද සලස්වන්නේය.
13ඌ මනුෂ්‍යයන් ඉදිරියෙහි අහසින් පොළොවට ගිනි බස්වන තරමට මහත් හාස්කම් කරන්නේය.
14කඩු පහර ලැබත් ජීවත්වූ මෘගයාට රූපයක් සාදන්ට ඕනෑයයි පොළොවේ වැසියන්ට කියමින්, මෘගයා ඉදිරියෙහි කරන්ට ලැබුණු හාස්කම් කරණකොටගෙන ඌ පොළොවේ වැසියන් මුළාකරන්නේය.
15මෘගයාගේ රූපය කථාකර, මෘගයාගේ රූපයට නමස්කාර නොකරන සියල්ලන් මරනු ලබන්ට සලස්වන පිණිස පවා මෘගයාගේ රූපයට පණ දෙන්ට ඌට බලය ලැබුණේය.
16තවද ලොකු කුඩා, පොහොසත් දිළිඳු, දාස නිර්දාස යන සියල්ලන්ට තමුන්ගේ දකුණෙත් හෝ නළලේ හෝ සලකුණක් ලබන්ටත්;
17ඒ සලකුණ වන මෘගයාගේ නාමය හෝ උගේ නාමයේ ගණන හෝ ඇත්තාට මිස අන් කිසිවෙකුට මිලේටගන්ටවත් විකුණන්ටවත් නුපුළුවන්වන හැටියටත් සලස්වන්නේය.
18මෙහි ප්‍රඥාව ඇත්තේය. නුවණ ඇත්තා මෘගයාගේ ගණන ගණන්කරාවා; මක්නිසාද ඒක මනුෂ්‍යයෙකුගේ ගණනක්ය. උගේ ගණනද හසිය හැට හයක්ය.