Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
23 verses
1නායොමිගේ පුරුෂයා වන එලීමෙලෙක්ගේ පෙළපතට අයිතිවූ, මහත් වස්තුකාරයෙක්වූ බෝවස් නම් නෑයෙක් ඈට සිටියේය.
2මෝවබිය රූත් නායොමිට කථාකොට: මම කෙතට ගොස් මට කරුණාව පෙන්වන කෙනෙකු පස්සේ යමින් කරල් ඇහිඳගන එන්නෙමියි කීවාය. ඈද: මාගේ දියණියෙනි, යන්නැයි කීවාය.
3ඈ ගොස් කෙතට පැමිණ ගොයම් කපන්නන් පස්සේ කරල් ඇහින්දාය. වාසනාවට මෙන් ඈ එලීමෙලෙක්ගේ පෙළපතට අයිති බෝවස්ගේ කෙත් කොටසට පැමින්නාය.
4බලව, බෝවස් බෙත්-ලෙහෙමේ සිට අවුත්: ස්වාමීන්වහන්සේ ඔබ සැම සමඟ වේවයි ගොයම් කපන්නන්ට කීවේය. ඔව්හු උත්තරදෙමින්: ස්වාමීන්වහන්සේ ඔබට ආශීර්වාදකරනසේක්වයි ඔහුට කීවෝය.
5එවිට බෝවස්: මේ යෞවනිය කාගේදැයි ගොයම් කපන්නන්ගේ ප්‍රධානියාවූ තමාගේ මෙහෙකරුවාගෙන් ඇසීය.
6ගොයම් කපන්නන්ගේ ප්‍රධානියාවූ මෙහෙකරුවා උත්තර දෙමින්: මෑ නායොමි සමඟ මෝවබ් රටෙන් හැරී ආවාවූ මෝවබිය යෞවනීය.
7මෑ: ගොයම් කපන්නන් පස්සේ ගොයම් මිටි අතරේ කරල් ඇහිඳ එකතුකරන්ට මට අවසර ලැබේවයි කියා ඇවිත් ගෙයි ටිකක් ප්රමාදවුණා මිසක් උදය පටන් මේ වන තුරු කරල් ඇහිඳිමින් සිටින්නීයයි කීවේය.
8එවිට බෝවස්: මාගේ දියණියෙනි, අහන්න; වෙන කෙතකට ඇහිඳින්ට නොයන්න, මෙතැනින් නොගොස් මෙහි මාගේ තරුණියන් එක්කම සිටින්න.
9ඔවුන් කපන කෙත බලාගන ඔවුන් පස්සේ යන්න. ඔබට අත නොගසන ලෙස මා විසින් තරුණ පුරුෂයන්ට අණකර තිබෙනවා නොවේද? ඔබට පිපාසාවූ කල භාජන ළඟට ගොස් තරුණයන් ඇද තිබෙන වතුරෙන් බොන්නැයි රූත්ට කීවේය.
10එවිට ඈ බිම වැතිර මුහුණින් වැටී වැඳ: විදේශීවූ මා සලකන ලෙස ඔබ ඉදිරියෙහි මට කරුණාව ලැබී තිබෙන්නේ මක්නිසාදැයි ඔහුට කීවාය.
11බෝවස් උත්තරදෙමින්: ඔබේ පුරුෂයා නැසුණු පසු ඔබේ නැන්දාට ඔබ කළ සියල්ලත් ඔබේ පියා හා මවුද ජන්ම භූමියද අත්හැර මීට ප්‍රථම ඔබ නෑඳින්න සෙනඟක් වෙතට ආ බවත් මට සම්පූර්ණයෙන් දන්වා තිබේ.
12ස්වාමීන්වහන්සේ ඔබේ ක්‍රියාවට විපාක දෙනසේක්වා, ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ පියාපත් යටතේ ආරක්ෂාවී සිටින්ට ආවාවූ ඔබට උන්වහන්සේගෙන් සම්පූර්ණ විපාකයක් ලැබේවයි ඈට කීවේය.
13එවිට ඈ: මාගේ ස්වාමිනි, ඔබ ඉදිරියෙහි මට කරුණාව ලැබේවා; මක්නිසාද මා ඔබගේ මෙහෙකාරියන්ගෙන් කෙනෙකු මෙන් නොවන නුමුත්, ඔබ මා සනසා ඔබගේ මෙහෙකාරිය සමඟ කරුණාවෙන් කථාකෙළෙහියයි කීවාය.
14කෑම කන වේලාවේ බෝවස් ඈට කථාකොට: මෙහාට ඇවිත් මේ රොටිවලින් අරන් ඔබේ කැබෙල්ල කාඩි හොද්දේ පොවා කන්නැයි ඈට කීවේය. ඈද ගොයම් කපන්නන් ළඟ ඉඳගත්තාය. ඔහු විලඳත් ඈට ළංකරදුන්නේය, ඈ කා තෘප්තියට පැමිණ ඉතුරු කරගත්තාය.
15ඈ කරල් ඇහිඳින්ට නැගිට ගිය විට බෝවස් තමාගේ වැඩකාරයන්ට අණකරමින්: ඈට මිටි අතරෙත් ඇහිඳින්ට ඉඩ දෙන්න, ඈට සැර නොකරන්න.
16අහුර��වලිනුත් සමහරක් ඇද දමා ඈට ඇහිඳ ගැනීමට අත්හරින්න, ඈට තරවටු නොකරන්නැයි කීවේය.
17මෙසේ ඈ සවස් වනතෙක් කෙතෙහි ඇහිඳ ඈ ඇහිඳපු ඒවා මැඩගත්තාය, යව ඒඵාවක් පමණ තිබුණේය.
18ඈ ඒවා රැගෙන නුවරට ගියාය. ඈ ඇහිඳපු ඒවා ඇගේ නැන්දා දුටුවාය. ඈ තෘප්තියට පැමිණි පසු ඉතුරු කරගත් ඒවාත් එළියට අරන් ඈට දුන්නාය.
19ඇගේ නැන්දා: ඔබ අද ඇහින්දේ කොහේද? වැඩකළේ කොතනදැයි ඇගෙන් අසා, ඔබ ගැන සැලකූ අයට ආශීර්වාදවේවයි කීවාය. කා වෙත වැඩකළාද කියා ඈ තම නැන්දාට දන්වමින්: මා අද වැඩකළේ බෝවස් නම්වූ මනුෂ්‍යයෙකු වෙතයයි කීවාය.
20එවිට නායොමි ඇගේ යෙහෙළීට කථාකොට: ඔහු ජීවතුන්ටත් මළවුන්ටත් ඇති තමාගේ කරුණාව අත්නොහැරියේය, ඔහුට ස්වාමීන්වහන්සේගෙන් ආශීර්වාද ලැබේවයි කීවාය. තවද නායොමි: ඒ මනුෂ්‍යයා අපට ළඟ නෑයෙක්ය, අපේ. ළඟම නෑයෙක්යයි ඈට කීවාය.
21මෝවබිය රූත්ද: එසේය, ඔහු මට කථාකර-මාගේ ගොයම් සියල්ල කපා තීන්දුකරන තුරු ඔබ මාගේ වැඩකාරයන් ළඟම සිටින්න කියාත් කීවේයයි කීවාය.
22නායොමිද: මාගේ දියණියෙනි, වෙන කෙතකදී මිනිසුන් ඔබට අන්තරා නොකරන පිණිස ඔහුගේ යෞවනියන් සමඟ යාම හොඳයයි ඇගේ යෙහෙළීවූ රූත්ට කීවාය.
23මෙසේ යව කපන කාලයත් තිරිඟු කපන කාලයත් නිමවනතෙක් ඈ ඇහිඳින පිණිස බෝවස්ගේ යෞවනියන් එක්කම සිටියාය; ඈ වනාහි ඇගේ නැන්දා සමඟ විසුවාය.