Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
18 verses
1එවිට ඇගේ නැන්දාවූ නායොමි ඈට කථාකොට: මාගේ දියණියෙනි, ඔබට ශුභසිද්ධියක් වෙන පිණිස මා විසින් ඔබට නිවාසයක් සොයන්ට ඕනෑ නොවේද?
2ඉතින් ඔබ සමඟ සිටිය යෞවනියන්ගේ ස්වාමියාවූ බෝවස් අපේ නෑයෙක් නොවේද? ඔහු අද රෑ පාවරේ යව පොළන්නේය.
3එබැවින් ඔබ නා, තෙල්ගාගෙන, ඔබේ වස්ත්‍ර ඇඳගෙන, පාවරට යන්න. ඒ මනුෂ්‍යයා කා බී නිමවන තුරු ඔබ දකින්ට ඔහුට ඉඩනාරින්න.
4ඔහු නිදාගන්න විට, ඔහු නිදාගන්න තැන බලාගන ඇතුළට ගොස් ඔහුගේ පාවැසුම් ඇර නිදාගන්න; එවිට ඔබ විසින් කළ යුතු දේ ඔහු ඔබට දන්වනවා ඇතැයි කීවාය.
5ඔබ මට කියන සියල්ල කරන්නෙමියි ඈ ඈට කීවාය.
6ඈ පාවරට ගොස් ඇගේ නැන්දා ඈට අණකළ සියල්ල ලෙස කළාය.
7බෝවස් කා බී ඔහුගේ සිත ප්රීතිවූ කල, ඔහු ධාන්‍ය ගොඩේ කෙළවරෙහි නිදාගන්ට ගියේය. ඈද හෙමින් අවුත් ඔහුගේ පාදවලින් වැස්ම ඇර නිදාගත්තාය.
8මධ්‍යම රාත්‍රියේ ඒ මනුෂ්‍යයා භයපත්ව හැරී බලා, ස්ත්‍රියක් තමාගේ පාද ළඟ නිදාඉන්නවා දැක: ඔබ කවුදැයි ඇසීය.
9ඈද: මම ඔබගේ මෙහෙකාරීවූ රූත්ය; එබැවින් ඔබගේ වස්ත්‍රය ඔබගේ මෙහෙකාරී පිට අතුරනු මැනවි; මක්නිසාද ඔබ ළඟ නෑයෙකැයි කීවාය.
10ඔහු: මාගේ දියණියෙනි, ස්වාමීන්වහන්සේගෙන් ඔබට ආශීර්වාද ලැබේවා. ඔබ දිළිඳු හෝ පොහොසත් හෝ තරුණයන් පස්සේ නොගිය කාරණයෙන් ඔබ පටන්ගැන්මට වඩා අන්තිමේදී වැඩි කරුණාව පෙන්වූයෙහිය.
11දැන් මාගේ දියණියෙනි, භයනොවෙන්න; ඔබ කියන සියල්ල ඔබට ඉෂ්ටකරන්නෙමි. මක්නිසාද මාගේ නුවර සියලු මනුෂ්‍යයෝ ඔබ සුශිලවත් ස්ත්‍රියක් බව දනිති.
12ඉතින් මා ඔබට ළඟ නෑයෙක් බව සැබෑය. නුමුත් මට වඩා ළඟ නෑයෙක් ඇත්තේය.
13අද රෑට පමාවෙන්න, හෙට උදය ඔහු නෑයෙකුගේ යුතුකම ඔබට කළොත් යහපති. ඔහු නෑයෙකුගේ යුතුකම ඉෂ්ටකෙරේවා. නුමුත් නෑයෙකුගේ යුතුකම ඔබට ඉෂ්ටකරන්ට ඔහු අකැමැතිනම් ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම මම එය ඉෂ්ටකරන්නෙමි. පහන්වනතෙක් නිදාගන්නැයි කීවේය.
14ඈ පහන්වන තෙක් ඔහුගේ පාමුල නිදාහිඳ, එකිනෙකා ඇඳිනගන්ට පුළුවන්වෙන්ට මත්තෙන් නැගුටුණාය. ඔහුද: ඒ ස්ත්‍රිය පාවරට ආ බව කිසිවෙකුට නොදැනේවයි කීවේය.
15තවද ඔහු: ඔබ පොරවා සිටින සළුව මෙහි ගෙනත් අල්ලන්නැයි කීවේය; ඈ ඒක ඇල්ලූ කල යව නැළි හයක් මැන ඈ පිට තබා නුවරට ගියේය.
16ඈ තම නැන්දා ළඟට ආ කල: මාගේ දියණියෙනි, ඔබ කවුදැයි ඇසුවාය.
17එවිට ඈ ඒ මනුෂ්‍යයා තමාට කළ සියල්ල නැන්දාට දන්වා-ඔබේ නැන්දා ළඟට හිස් අතින් නොයන්නැයි ඔහු මට කියා මේ යව නැළි හය මට දුන්නේයයි කීවාය.
18එවිට ඈ: මාගේ දියණියෙනි, කාරණය කෙසේ සිදුවන්නේද කියා දැනගන්නා තුරු ඉන්න; මක්නිසාද ඒ මනුෂ්‍යයා අද මේ දේ තීන්දුකරනතුර නිවාඩු නොගන්නේයයි කීවාය.