Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
16 verses
1මාගේ සහෝදරිය මාගේ මනමාලිය, මම මාගේ උයනට ඇවිත්, මම මාගේ ගන්ධරස මාගේ සුවඳ බඩු සමඟ රැස්කරගතිමි, මාගේ මීවදේ සමඟ මාගේ මීපැණි කෑවෙමි, මාගේ කිරි සමඟ මාගේ මුද්‍රිකපානය බීවෙමි. මිත්‍රයෙනි, කන්න; ප්‍රිය තැනැත්තෙනි, බොන්න, එසේය, බොහෝසෙයින් බොන්න.
2මම නිදාගෙන සිටියෙම් නුමුත් මාගේ සිත පිබිද තිබුණේය. අන්න මාගේ ප්‍රේමවන්තයා තට්ටුකරන ශබ්දයය: මාගේ සහෝදරිය, මාගේ සොඳුරිය, මාගේ පරෙවිදෙන, මාගේ නිර්මල තැනැත්තිය, මට දොර අරින්න. මක්නිසාද මාගේ හිස පින්නෙනුත් මාගේ කෙස් රොද රෑ පිනිබින්දුවලිනුත් පෙඟී තිබේයයි කීවේය.
3මාගේ සැට්ටය මුදා තැබීමි; මා ඒක අඳින්නේ කොහොමද? මාගේ පාද සේදීමි; ඒවා මම කෙසේ කිලුටුකරන්නෙම්දැයි කීවෙමි.
4මාගේ ප්‍රේමවන්තයා දොර සිදුරෙන් අත දැමූයේය, මාගේ හෘදයද ඔහු කෙරෙහි ඇදී ගියේය.
5මාගේ ප්‍රේමවන්තයාට දොර අරින්ට නැගිට්ටෙමි; එවිට අගුළේ මිටිවල තිබුණු ගන්ධරස මාගේ අත්වලද දියවර ගන්ධරස මාගේ ඇඟිලිවලද තැවරී වැටුණේය.
6මාගේ ප්‍රේමවන්තයාට දොර ඇරියෙමි; නුමුත් මාගේ ප්‍රේමවන්තයා අහක්ව ගිහින්ය. ඔහු කථාකළ විට මට සිහිනැතිවිය. මම ඔහු සෙවීමි, නුමුත් සම්බවුණේ නැත; මා ඔහුට අඬගැසූ නුමුත් ඔහු මට උත්තරදුන්නේ නැත.
7නුවර ඇවිඳින රැකවල්ලු මට සම්බවී, මට ගසා තුවාලකළෝය; පවුරුවල රැකවල්ලු මාගේ පොරෝණය මාගෙන් පැහැරගත්තෝය.
8යෙරුසලමේ දූවරුනි, මාගේ ප්‍රේමවන්තයා නුඹලාට සම්බවුණොත්, මා ප්‍රේමාතුරව සිටින බව දන්වන ලෙස නුඹලා දිවුරවමි.
9ස්ත්‍රීන්ගෙන් ඉතා ලක්ෂණ තැනැත්තිය, වෙන ප්‍රේමවන්තයෙකුට වඩා නුඹේ ප්‍රේමවන්තයාට ඇති උතුම්කම මොකද? නුඹ මෙසේ අප දිවුරවන්නේ වෙන ප්‍රේමවන්තයෙකුට වඩා නුඹේ ප්‍රේමවන්තයාට ඇති උතුම්කම මොකද?
10මාගේ ප්‍රේමවන්තයා සුදුය, රතු කම්මුල් ඇත්තේය, දසදහසක් අතරේ උතුම්ය.
11ඔහුගේ හිස ඉතා පවිත්‍ර රත්රන් මෙන්ය, ඔහුගේ කෙස් රොද ඝනය, කපුටුවා මෙන් කළුය.
12ඔහුගේ ඇස් දිය දොළවල් ළඟ ඉන්න පරෙවියන් වැනිව, කිරෙන් සේදී, හොබනා ලෙස පිහිටා තිබේ.
13ඔහුගේ කම්මුල් සුවඳ ගස් පාත්තියක්ද සුවඳ පැළ ඇති ගොඩැලිද මෙන්ය. ඔහුගේ තොල් මානෙල් මෙනි, දියවර ගන්ධරස එයින් වෑහෙන්නේය.
14ඔහුගේ අත් ලශුනීය මැණික් ඇල්ලූ රන්මුදු වැනිය. ඔහුගේ ඇඟ නීලමාණික්‍යවලින් සැරසූ ඇත්දත් කර්මාන්තයක් මෙන්ය.
15ඔහුගේ කෙණ්ඩා අමිශ්‍ර රන් අඩි පිට පිහිටා තිබෙන සුදු ගල් කණු මෙන්ය. ඔහුගේ ස්වරූපය ලෙබනොන් හා සමානය, කිහිරිගස් මෙන් උතුම්ය.
16ඔහුගේ මුඛය ඉතා මිහිරිය. එසේය, ඔහු මුළුමනින්ම ප්‍රියකරුය. යෙරුසලමේ දූවරුනි, මාගේ ප්‍රේමවන්තයා මේ ආකාරය, මාගේ මිත්‍රයා මෙබන්දෙක්ය.