Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
20 verses
1ස්වාමීන්වහන්සේ ආබ්රම්ට කථාකොට: ඔබේ දේශයෙන්ද ඔබේ නෑයන් කෙරෙන්ද ඔබේ පියාගේ ගෙදරින්ද පිටත්ව මා විසින් ඔබට පෙන්වන දේශයට යන්න.
2මම ඔබ මහත් ජාතියක් කරන්නෙමි; ඔබට ආශීර්වාද කොට ඔබේ නාමය කීර්තිමත් කරන්නෙමි; ඔබද ආශීර්වාදයක් වෙන්න.
3තවද ඔබට ආශීර්වාද කරන්නන්ට මම ආශීර්වාදකරන්නෙමි, ඔබට ශාපකරන්නාට මම ශාපකරන්නෙමි. පොළොවේ සියලු පවුල් ඔබ කරණකොටගෙන ආශීර්වාද ලබන්නෝයයි කීසේක.
4මෙසේ ආබ්රම් ස්වාමීන්වහන්සේ තමාට කී ලෙස ගියේය. ලොත් ඔහු සමඟ ගියේය; ආබ්රම් හාරානෙන් පිටත්වූ කල ඔහුට සැත්තෑ පස් අවුරුද්දක් වයස් විය.
5ආබ්රම් තමාගේ භාර්යාවවූ සාරයිද තම සහෝදරයාගේ පුත්රවූ ලොත්ද ඔවුන් රැස්කරගන තිබුණු තමන්ගේ සියලු සම්පත්ද හාරාන්හිදී ඔවුන් ලබාගෙන සිටි මිනිසුන්ද රැගෙන කානාන් දේශයට යන පිණිස පිටත්වුණේය; ඔව්හු කානාන් දේශයට පැමිණියෝය.
6ආබ්රම් ඒ දේශය මැදින් ෂෙඛෙම් නම් ස්ථානයෙහි මොරේගේ ආලොන් වෘක්ෂය දක්වා ගියේය. ඒ කාලයෙහි කානානිවරු දේශයෙහි සිටියෝය.
7ස්වාමීන්වහන්සේ ආබ්රම්ට පෙනී: මේ දේශය ඔබේ වංශයට දෙන්නෙමියි කීසේක. එතැන්හි ඔහු තමාට පෙනුණාවූ ස්වාමීන්වහන්සේට පූජාසනයක් ගොඩනැගුවේය.
8ඔහු ඒ ස්ථානයෙන් ගොස් බෙතෙල්ට නැගෙනහිරින් පිහිටි කන්දට පැමිණ බස්නාහිරින් බෙතෙල්ද නැගෙනහිරින් ආයිද ඇතුව තමාගේ කූඩාරම පිහිටුවාගත්තේය. තවද ඔහු එතැන්හි ස්වාමීන්වහන්සේට පූජාසනයක් ගොඩනගා ස්වාමීන්වහන්සේ ගේ නාමය කියා යාච්ඤාකෙළේය.
9ආබ්රම් ගමන්කරනුයේ, දකුණු දෙසටම ගියේය.
10දේශයෙහි සාගතයක් විය. දේශයෙහි සාගතය මහත් බැවින් ආබ්රම් මිසරයෙහි පොරොත්තුව සිටීම පිණිස එහි ගියේය.
11තවද ඔහු මිසර දේශයට ඇතුල්වෙන්ට ළංවූ කල තම භාර්යාවවූ සාරයිට කථාකොට: බලව, ඔබ ශෝභන පෙනීම ඇති ස්ත්රියක් බව දනිමි.
12මිසරවරුන් ඔබ දුටු විට-මෑ ඔහුගේ භාර්යාවය කියා මා මරා ඔබ ඉතුරු කරනවා ඇත.
13ඉතින් ඔබ නිසා මට යහපත සිද්ධවෙන පිණිසද ඔබ කරණකොටගෙන මාගේ ප්රාණය ගැළවෙන පිණිසද ඔබ මාගේ සහෝදරීයයි කියන ලෙස ඉල්ලමියි කීය.
14තවද ආබ්රම් මිසරයට පැමිණි කල ඒ ස්ත්රිය ඉතා ශෝභන බව මිසරවරු දුටුවෝය.
15ඵාරාවෝගේ ඇමතිවරු ඈ දැක ඵාරාවෝ ඉදිරියෙහි ඈ වර්ණනාකළෝය. එවිට ඒ ස්ත්රී ඵාරාවෝගේ ගෙට ගෙනයනලද්දීය.
16ඔහු ඈ නිසා ආබ්රම්ට යහපත කෙළේය. බැටළුවෝද ගවයෝද කොටළුවෝද දාසයෝද දාසියෝද කොටළුදෙන්නුද ඔටුවෝද ඔහුට ලැබුණාහ.
17ස්වාමීන්වහන්සේ ආබ්රම්ගේ භාර්යාවවූ සාරයි නිසා ඵාරාවෝටද ඔහුගේ ගෙයි වැසියන්ටද මහත්වූ පීඩාවලින් පීඩාකළසේක.
18එවිට ඵාරාවෝ ආබ්රම් කැඳවා: ඔබ මට මේ කළේ මොකද? ඈ ඔබේ භාර්යාව බව කුමක් නිසා මට නොකීවෙහිද?
19ඈ ඔබේ සහෝදරීයයි මට කීවේ මක්නිසාද? එබැවින් ඇය මාගේ භාර්යාව කොට ගතිමි. මෙන්න ඔබේ භාර්යාව, ඇය රැගෙන යන්නැයි ඔහුට කීය.
20ඵාරාවෝ ඔහු ගැන මිනිසුන්ට අණදුන්නේය. ඔව්හු ඔහු සහ ඔහුගේ භාර්යාවද ඔහු සන්තක සියල්ලද මගට ගෙනැත් ඇරලුවෝය.