Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
22 verses
1එවිට යෝබ් උත්තරදෙමින් කියනුයේ:
2එබඳු බොහෝ දේ මා විසින් අසා තිබේ. ඔබ සැම සියල්ලෝම දුක්දෙන සැනසිලිකාරයෝය.
3සුළඟ වැනි වචනවල කෙළවරක් ඇද්ද? නොහොත් උත්තරදීමට ඔබ පොළඹවන්නේ කුමක්ද?
4මටත් ඔබ සැම වාගේ කථාකරන්ට පුළුවන; මා සිටින ස්වභාවෙහි ඔබ සැම සිටියොත්, ඔබ සැමට විරුද්ධව වචන ගොතා, ඔබ සැම දෙසට මාගේ හිස වනන්ට මට පුළුවන.
5එහෙත් මාගේ මුඛයෙන් ඔබ සැම ශක්තිමත්කර, මාගේ තොල්වල සැනසිල්ලෙන් ඔබ සැම උසුලන්නෙමි.
6මා කථාකරන නුමුත් මාගේ ශෝකය නොසන්සිඳෙයි. කථා නොකර උන්නත් මට ලැබෙන පහසුව කිමෙක්ද?
7සැබවින්ම උන්වහන්සේ මා වෙහෙසූසේක; ඔබවහන්සේ මාගේ මුළු සමාගම පාළු කළසේක.
8ඔබ මා අල්ලාගත්සේක, ඒක මට විරුද්ධව සාක්ෂියක්ය. මාගේ කෙට්ටුකම මට විරුද්ධව නැගිටියි, ඒක මාගේ මුහුණ ඉදිරියෙහි සාක්ෂිදෙයි.
9උන්වහන්සේ තමන් කෝපයෙන් මා ඉරා දමා මට ද්වේෂකළසේක; උන්වහන්සේ මට විරුද්ධව දත්මිටි කෑසේක. මාගේ එදිරිකාරයා මා දෙසට තමාගේ ඇස් යොමුකරන්නේය.
10ඔව්හු මට විරුද්ධව තමුන්ගේ කට අයා, නින්දාකරමින් මාගේ කම්මුලට ගැසුවෝය. ඔව්හු එක්ව මට විරුද්ධව සම්බන්ධ වෙති.
11දෙවියන්වහන්සේ අභක්තිකයාට මා පාවාදෙනසේක; දුෂ්ටයන්ගේ අත්වලට මා විසිකරනසේක.
12මම සුවසේ සිටියෙමි, උන්වහන්සේ මා පොඩිකළසේක; මාගේ බෙල්ල අල්ලා, මා බිමගසා සුන්කර, ඉලක්කයක් කොට මා තබාගත්සේක.
13උන්වහන්සේගේ දුනුවායෝ මා වටකරගන සිටිති, උන්වහන්සේ කරුණා නොකර, මාගේ වකුගඩු පළා, මාගේ පිත බිම වගුරුවනසේක.
14උන්වහන්සේ බිඳුම් පිට බිඳුම් කොට, මා පොඩිකරනසේක; යුද්ධකාරයෙකු මෙන් මට විරුද්ධව දුව එනසේක.
15ගෝණි රෙදි මාගේ හම පිට මහගන, මාගේ ඇඟ දූවිල්ලෙහි දමාගන සිටිමි.
16මාගේ මුහුණ ඇඬීමෙන් රතුවී තිබේ, මාගේ ඇසිපිය පිටද මරණයේ සෙවණ තිබේ.
17කිසි බලාත්කාරකමක් මාගේ අත්වල නැති නුමුත්, මාගේ යාච්ඤාව පිරිසිදු නුමුත්, මට එසේ වී තිබේ.
18එම්බා පොළොව, මාගේ ලේ වසා නොගන්න, නැවතීමේ ඉඩමක්ද මාගේ මොරගැසීමට නොතිබේවා.
19දැන් පවා මාගේ සාක්ෂිය ස්වර්ගයෙහිය; මාගේ සාක්ෂිකාරයාද උසස්ථානයෙහි සිටියි.
20මාගේ යහළුවෝ මට නින්දාකෙරෙති. මාගේ ඇස දෙවියන්වහන්සේ දෙසට කඳුළු වගුරුවයි.
21එසේ කරන්නේ මනුෂ්‍ය පුත්‍රයෙක් තවත් මනුෂ්‍යයෙකුට යුක්තිය කරන්නාක්මෙන් දෙවියන්වහන්සේ තමන් ඉදිරියෙහි මනුෂ්‍යයෙකුට යුක්තිය කරන පිණිසය.
22මක්නිසාද අවුරුදු ස්වල්පයකට පසු, මම ආපසු නොඑන මාවතෙහි යන්නෙමි.